ඉංගිරිය, දොඹගස්කන්ද ප්‍රදේශයේ රක්ෂිතයක මාර්ගයක් සකස් කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට පයිනස් ගසක් කඩා වැටීමෙන් ඊයේ (12) සවස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩිගමුව, ගල්ලෑල්ල යාය, එලමුල්ල ලිපිනයේ පදිංචිව සිටි 60 හැවිරිදි වරල්ලගෙදර අබේකෝන් බණ්ඩා නැමැති පුද්ගලයෙකි. රාජ්‍ය දැව සංස්ථාවට අයත් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඉංගිරිය දොඹගස්කන්ද රක්ෂිතයට ඇතුළු වීම සඳහා පයිනස් ගස් ඉවත් කරමින් මෙම මාර්ගය සකස් කරමින් තිබී ඇත. කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙහි කොන්ත්‍රාත් කටයුතු භාරගෙන තිබූ අතර, මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ එහි සේවය කරමින් සිට තිබේ.
එම අවස්ථාවේදී බැකෝ යන්ත්‍රය මඟින් කපන ලද පයිනස් ගසක් අනපේක්ෂිත ලෙස මෙම පුද්ගලයාගේ හිස මතට කඩා වැටී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහුව ඉංගිරිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බැකෝ යන්ත්‍ර රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.














