එප්පාවල කිරලෝගම, කදුරුගස්වැව සහ දික්වැවේ සති දෙකකට ආසන්න කාලයක් රෝගාතුරව රැඳී සිට අද (01) උදෑසන එප්පාවල රොටවැවට පැමිණ සිටි වන අලි පැටවාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අද (01) පස්වරුවේ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සහ උදේශිකා මධුවන්ති මෙනවියගේ අධීක්ෂණය යටතේ වන අලි පැටවා ආරක්ෂිතව පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යන ලදී. මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මෙම අලි පැටවාට අත්ව ඇති ඉරණම පිළිබඳ වාර්තා වීමෙන් පසු පැය 24ක් යන්නට මත්තෙන් බලධාරීන් මෙලෙස ප්‍රතිකාර සඳහා පියවර ගත්තේය. එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සහ සංරක්ෂණය සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කිරීමට නියමිතය. වන අලින්ගෙන් විවිධ පීඩා වින්දද, විපතට පත් අලි පැටවා වෙනුවෙන් අනුකම්පාවෙන් කටයුතු කරමින් සහාය දැක්වීමට දික්වැව, කදුරුගස්වැව සහ රොටවැව ගම්වාසීන් ඉදිරිපත් වීම ද මෙහිදී කැපී පෙනුණි.















