27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා තැපැල් සේවාවේ අඛණ්ඩ පැවැත්මට නව්‍යකරණය අත්‍යවශ්‍යයි – අමාත්‍ය ඩලස්

ශ්‍රී ලංකා තැපැල් සේවාව වර්තමාන තරගකාරී වෙළෙඳපොලට මෙන්ම ඉතා කාර්ය බහුල පාරිභෝගික ජීවින රටාවට සහ නූතන අවශ්‍යතාවලට අනුව අනුවර්තනය වී ඊට ගැලපෙන පරිදි නව්‍යකරණයට සහ නවෝත්පාදනයට ලක්විය යුතුයැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති 147 වන ලෝක තැපැල් දින 52 වන සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.

මෙවර ලෝක තැපැල් දින තේමාව “නවෝත්පාදනය තුළින් ප්‍රතිසාධනය” යන්නයි. 1969 වස‍රේ තෝකියෝහි පැවැති 18 වන සමුළුවට ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ආනන්ද් මොහාන් අරුල් මහතා ගෙන ආ යෝජනාව සම්මතවීමෙන් අනතුරුව එතැන් පටන් ඔක්තෝබර් 09 දින ලෝක තැපැල් දිනය ලෙස නම් කර ඇත.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ජනසමාජයක් පවත්වාගෙනයාමට තැපැල් සේවකයා දක්වන දායකත්වය අසම සමයැයි ද තැපැල් සේවයේ පැවැත්ම සහ සේවාවට නිසි ගෞරවය ලැබෙන්නේ වෙනස් වන සමාජ අවශ්‍යතාවන්ට අනුකූලව වෙනස්වෙමින්, ජනසමාජයත් සමග ඉදිරියට ගමන් කළහොත් පමණක් බවයි.

ඒ සඳහා දැනට නියෝජිත සේවා සපයන ආයතනවලට අමතරව ශ්‍රී ලංකාව ඇතුලත මෙන්ම ජාත්‍යන්තරය මට්ටමෙන් විශිෂ්ට සේවා සපයන ආයතන සමග ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අතිනත ගෙන ක්‍රියාකළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

එවැනි වෙනසකට සූදානමක් නැතුව සමරණ ලෝක තැපැල් දිනය අර්ථ ශූන්‍යය, නාමමාත්‍රික හා ගතානුගතික ක්‍රියාවකට පමණක් සීමාවන බවත් එමගින් සක්‍රීය, පළදායීතාවක් රටට අත්නොවන බවත් කීවේය.

එබැවින් “පණිවිඩකරුවන් වූ අපට නියම වූ බෙදා හැරීමේ වටය අප්‍රමාදව, සම්පූර්ණ කිරීම වළක්වාලීමට ත්‍රස්තවාදයටවත්, සුනාමියටවත්, කුමන ස්වභාවික උපද්‍රවයකටවත්, වසංගත තත්වයකටවත් නොහැකි බව ලෝකයා හමුවේ නැවතත් නැවත නැවතත් අපි සපථ කර ගනිමු.” යන ඒකායන අභිප්‍රේතාර්ථයෙන් කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස සියලුම තැපැල් සේවකයන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

තැපැල්පති රංජිත් ආරිරත්න මහතා අමාත්‍යවරයා වෙත පුද්ගලකාරක මුද්දරය ඇතුළත් සිහිවටන තිළිණය ප්‍රදානය කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *