බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක්වූ වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වැනි දිනට යෙදී ඇති අතර, එහි ප්‍රධාන සැමරුම් උත්සවය අගෝස්තු 25 වැනි දින යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, “වින්දිතයින් සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග” යන තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇත. මීට සමගාමීව රාජ්‍ය ආයතන, සංවර්ධන පාර්ශ්වකරුවන්, සිවිල් සමාජ සංවිධාන සහ ජනමාධ්‍ය දායක කරගනිමින් මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
2016 අංක 14 දරන පනත යටතේ 2018 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මගින් අතුරුදහන් වූවන් සෙවීම, ඔවුන්ගේ සහ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, අතුරුදහන්වීම් වැළැක්වීමට නිර්දේශ ලබා දීම සහ මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම ඇතුළු කටයුතු රැසක් සිදු කරනු ලබයි. ප්‍රාදේශීය කාර්යාල සහ බාහිර වැඩසටහන් හරහා සියලුම පළාත්වල අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් සමඟ අඛණ්ඩව කටයුතු කරමින් ලේඛන සකස් කර ගැනීම, සහන ගෙවීම් සහ අනෙකුත් සහන ලබා ගැනීමට සහය වීම මෙන්ම සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමද මෙම කාර්යාලය විසින් අඛණ්ඩව සිදු කරනු ලබයි.














