අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාගමන පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඇමරිකාවේ පැවති සාම පාගමනට නායකත්වය දුන් පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් මේ සඳහා වැඩම කරන අතර, උන්වහන්සේලා පිරිසක් ඊයේ ඇමරිකාවෙන් මෙරට බලා පිටත්ව ඇත. මෙම පාගමන ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසින් ආරම්භ වන අතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක් ද ඒ සමඟ වැඩම කරවීමට නියමිතය.
අනුරාධපුරයෙන් ඇරඹෙන මෙම සාම පාගමන දඹුල්ල, මාතලේ, මහනුවර සහ කෑගල්ල හරහා ගමන් කර අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර ඇත. පාගමන අවසානයේදී වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.













