Anthropic සමාගම විසින් පවත්වාගෙන යනු ලබන Claude chatbot, API සහ Claude Code යන ප්‍රධාන සේවාවන්හි හදිසි බිඳවැටීමක් ඊයේ (අප්‍රේල් 15) වාර්තා වූ බව CNBC පුවත් සේවය සඳහන් කරයි. මෙම සේවාවන් බිඳවැටීම හේතුවෙන් දෝෂ වාර්තා වීම් (Error rates) සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර Downdetector වෙබ් අඩවියට අනුව එදින පෙරවරු 10:42 වන විට පරිශීලකයින් 6,000කට අධික පිරිසක් මේ පිළිබඳව පැමිණිලි කර තිබුණි. කෙසේ වෙතත් පස්වරු 1:12 වන විට එම පැමිණිලි සංඛ්‍යාව 2,000 දක්වාත්, පස්වරු 1:34 වන විට 500 දක්වාත් ක්‍රමයෙන් පහත වැටුණු බව වාර්තා වේ.
OpenAI සමාගමේ හිටපු පර්යේෂකයන් සහ විධායක නිලධාරීන් විසින් 2021 වසරේදී ආරම්භ කරන ලද Anthropic සමාගම මේ වන විට ඩොලර් බිලියන 380ක පමණ වටිනාකමකින් යුත් දැවැන්තයෙකු බවට පත්ව ඇත. පසුගිය වසර පුරා ඔවුන්ගේ Claude Code වැනි නිෂ්පාදන සඳහා වූ ඉල්ලුම පුපුරා යාමකට ලක් වූ අතර එම වර්ධනයත් සමඟ පද්ධතිවල පවතින ස්ථාවරභාවය පවත්වා ගැනීම පිළිබඳ ගැටලුවලට ඔවුන්ට මුහුණ දීමට සිදු වී තිබේ. දැනට Anthropic සමාගම ව්‍යාපාරික වෙළඳපොළ (Enterprise market) ජය ගැනීම සඳහා Google සහ OpenAI වැනි ආයතන සමඟ දැඩි තරඟයක නිරතව සිටියි.














