තමන්ගේ දහඩියෙන් ලෝකය ගොඩනගන කම්කරුවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ජීවිත අරගලය සිහිපත් කරන විශේෂ දිනයක් වන ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01) දිනට යෙදී ඇත.
දිනකට පැය 8ක වැඩක් ඉල්ලමින් ඇමරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන් විසින් 1886දී සිදුකළ අරගලයේ කැපවීම අද (01) ලොව පුරා කම්කරුවන්ගේ නිදහසට හේතු වී තිබේ. ලොව පුරා කම්කරුවන් මෙම දිනය සමරමින් මැයි රැළි සහ පෙළපාලි පවත්වනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සැමරුම 1923 දී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් පවත්වා තිබුණි.
මෙවර මැයි දින සැමරුම් සඳහා දේශපාලන පක්ෂ රැසක් රැලි සංවිධානය කර ඇති අතර, වත්මන් ආණ්ඩුව වන ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්වීමට නියමිතය. කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ද මැයි දින සැමරුම් බොහෝමයක් පැවැත්වෙයි.












