ලෝකයම පවතින විවිධ යුදමය තත්ත්වයන් සහ ආර්ථික අර්බුද හමුවේ නොසැලී ඉදිරියට යන ශ්‍රී ලංකාව, මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ අතිමහත් ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක යුගයකදීය. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළේය.
ඇමරිකානු තීරුබදු, මැදපෙරදිග යුද්ධය මෙන්ම දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ව්‍යසනයන් ද රටට දැඩි බලපෑම් එල්ල කළද, රටේ අනන්‍යතාවය වූ මානුෂවාදී නොබැඳි විදෙස් පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට රජය සමත් විය.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව සුවිශේෂී ආර්ථික සන්ධිස්ථාන කිහිපයක් පසු කළේය. 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය, 2007 වසරට පසු වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම සහ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ඒ අතරින් කැපී පෙනේ.
මෙම ජයග්‍රහණ පිටුපස සිටින වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවගේ ශ්‍රම වටිනාකම මැනවින් හඳුනාගෙන රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ නැංවීම, වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ දැමීම, 2016 පසු රාජ්‍ය සේවයට එක්වූවන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම සහ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් වැඩි කිරීම ඇතුළු සහන රැසක් ඒ යටතේ ලබා දී ඇත.
ව්‍යසනයන් හමුවේ පීඩාවට පත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දියත් කර ඇති ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළ ඔස්සේ ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් සහ සහනාධාර ලබා දී ඇති බවද ඔහු සිහිපත් කළේය. අනාගත පරපුර උදෙසා සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්ක කරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ආර්ථිකය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් හරහා “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැගීමට රටේ ශ්‍රම බලකාය දායක කර ගැනීමට රජය අපේක්ෂා කරයි.
මෙරට වැඩ කරන ජනතාවගේ කැපවීම සහ ශක්තිය මත විශ්වාසය තබමින්, සාමූහික ප්‍රයත්නයකින් යහපත් රටක් ගොඩනැගීමට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සහෝදරත්වයෙන් ආරාධනා කර සිටියේය.














