ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්‌මාන්ත ක්ෂේත්‍රයේ අපනයන ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් Intex සහ InMac ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශන ද්විත්වය අගෝස්තු 05 වැනිදා සිට 07 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ලොව පුරා රටවල් සහ කලාප 15කට අධික ප්‍රමාණයක ජාත්‍යන්තර සමාගම් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම ප්‍රදර්ශන මගින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සැපයුම් දාමය නවීකරණය කිරීම සහ දේශීය නිෂ්පාදකයන් ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කිරීම අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රදර්ශන ද්විත්වය මගින් රෙදිපිළි, නූල්, තිරසර අමුද්‍රව්‍ය සහ අතිනවීන ඇඟලුම් යන්ත්‍රෝපකරණ පිළිබඳ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කෙරේ. විශේෂයෙන්ම මැහුම්, කැපුම් සහ ඩිජිටල් මුද්‍රණ පද්ධති ඇතුළු ස්වයංක්‍රීයකරණය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය මෙමගින් හඳුන්වා දෙන අතර, දේශීය නිෂ්පාදකයන් සහ ජාත්‍යන්තර වෙළෙඳ ගැනුම්කරුවන් අතර ව්‍යාපාරික හමුවීම් ද සංවිධානය කර ඇත. චක්‍රීය ආර්ථිකය, තිරසරභාවය සහ ස්මාර්‌ට් නිෂ්පාදන පිළිබඳව අවධානය යොමු කෙරෙන ව්‍යාපාරික සංසද රැසක් ද මේ සමඟ සමගාමීව පැවැත්වේ.
2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයක් කරා ළඟා වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනවල මූලික අරමුණ බව සංවිධායකයෝ පවසති. Worldex India සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්‌මික සංවර්ධන මණ්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගය හිමිව තිබේ. ගෝලීය අමුද්‍රව්‍ය සහ උසස් තාක්ෂණය ශ්‍රී ලාංකීය නිෂ්පාදන ක්ෂේත්‍රයට හඳුන්වා දීම තුළින් කර්‌මාන්තයේ තරගකාරීත්වය ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතය.
















