ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපතිවරයෙකු වන රොෂාන් ප්‍රනාන්දු මහතාට එරෙහිව සිය පවුල් ජීවිතයට අනර්ථයක් සිදුකිරීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් එච්.එම්.සී.එන්.ජී.කේ. හේරත් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිළිබඳව, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිය විමර්‌ශන කටයුතු අවසන් කර ඇති බව වාර්‌තා වේ.
එච්.එම්.සී.එන්.ජී.කේ. හේරත් මහතා විසින් 2023 වසරේ පෙබරවාරි මස 15 වන දින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්‌ශනය ආරම්භ විය. රොෂාන් ප්‍රනාන්දු මහතා තම පුත්‍රයාගේ බැඩ්මින්ටන් පුහුණුවට සම්බන්ධ වීම මුවාවෙන් තම බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, ඒ හරහා තම පවුල් ජීවිතය බිඳ දැමූ බවත් පැමිණිලිකරු චෝදනා කරයි. තවද, ක්‍රීඩා සංගම්වල නිලධාරීන් සතු විය යුතු විනය හා සදාචාරය උල්ලංඝනය කරමින් ලිංගික හිරිහැර සහ අනිසි යෝජනා සඳහා අනුබල දී ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයටද පැමිණිලි කර ඇති අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් 2023 ජූලි 28 වන දිනැති ලිපියක් මගින් විමර්‌ශනය අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බව පැමිණිලිකරුට දන්වා ඇත. ක්‍රීඩා අමාත්‍යාංශයේ 2020 ජූලි 31 දිනැති චක්‍රලේඛ අංක MS/04/04 හි සඳහන් කරුණු උපුටා දක්වමින් පැමිණිලිකරු පෙන්වා දෙන්නේ, ක්‍රීඩකයන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ලිංගික හිරිහැර කිරීම් සිදුකරන නිලධාරීන් වහාම තනතුරුවලින් ඉවත් කළ යුතු බව සහ වසර 8ක කාලයක් ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීමෙන් වළක්වා කළු ලැයිස්තුගත කළ යුතු බවයි.
















