27 April 2024
#දේශීය

IOC ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මැදිහත් වීමක් නෑ – විදුලිබල අමාත්‍යංශය කියයි

IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් කල නොහැකි බව එම අමාත්‍යාංශයේ නිලධාරින් පවසයි.

IOC සමාගම විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන් විසින් රජයට නගන චෝදනා සම්බන්ධව අද දින (21 )විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශයේ දි පවත්වනු ලැබීය.

එහිදී අමාත්‍යවරයා විසින් IOC සමාගම විසින් ඉන්ධන මිල නැංවීම සම්බන්ධව කරුණු විමසා සිටි අතර එහිදී හෙලිදරව් වුයේ IOC සමාගම විසින් 2003 දී ගිවිසුම් ගත වීම අනුව ඔවුන් විසින් ඉන්ධන මිල ඉහළ නංවන්නේ නම් ඒ සඳහා අදාල විෂයබාර අමාත්‍යාංශයෙන් විමසීමක් කිරීම අවශ්‍ය නොවන බවයි. එහෙත් ඔවුන් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතියක් ලබා ගත යුතුය. දැනට ඇති තොරතුරු අනුව ඔවුන් විසින් මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබෙන බව අවධාරණය විය.

2003 දී එවකට පැවැතියේ එක්සත් ජාතික පක්ෂ රජයක් වන අතර මේ සම්බන්ධව එම රජයේ ඛනිජතෙල් ඇමැතිවරයා විසින් ගනු ලැබු තීරණයක් මත මෙම ගිවිසුමට එළැඹ තිබෙන බව පෙනී යයි.

එමනිසා පසුගියදා IOC සමාගම විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධව වර්තමාන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු මැදිහත් විමක් නොමැති බව අවධාරණය කරන ලදී.

එහෙත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකී ගිවිසුම සම්බන්ධව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් තමන්ට කඩිනමින් ලබා දෙන ලෙස අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දෙන ලදී. ඒ් අනුව ඉදිරියේ දී මෙම ගිවිසුම සංශෝධනය කිරීම සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඒ සම්බන්ධව පවතින කරුණු අධ්‍යයනය කිරීම එහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කලේය.

IOC සමාගම ඉන්ධන මිල වැඩි කළ ද , කිසිදු ඉන්ධනයක මිල ඉහළ නැංවීමට පියවර නොගන්නා ලෙස අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන්නේය.

රජය විසින් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළයාම මත පනවන ලද විශේෂ බද්ද හේතුවෙන් මෙසේ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ නැංවු බව IOC සමාගම ප්‍රකාශ කළ ද, ඔවුන් විසින් ඩිසල් අලෙවිය මගින් විශාල ලාභයක් ලබන බව ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම ඔවුන් විසින් එළැඹි ගිවිසුමක් මත සිදු කරන ලද කාරණයක් වන බැවින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් ඊට කළ නොහැකි බව අමාත්‍යාංශයේ නිලධාරින් විසින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *