ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසර කිහිපය තුළ අභ්‍යන්තර හා බාහිර කම්පන රැසකට මුහුණ දී ඇති අතර, එමඟින් දිගුකාලීන ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වී තිබෙනවා. අර්බුදයෙන් පසු වර්ධන මාවතට පිවිසීමට සමත් වුවද, ඉන්ධන මිල කම්පන සහ දේශගුණික අවදානම් හේතුවෙන් ඉදිරි ආර්ථික වර්ධනය අභියෝගාත්මක විය හැකි බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) පෙන්වා දෙනවා.
ආර්ථිකයේ පදනම ශක්තිමත් කරමින් මධ්‍යකාලීනව 7%ක වර්ධන ඉලක්කය සපුරා ගැනීමට අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව IPS පර්යේෂණවල සඳහන්. 2008 වසරේ සිට අපනයන වර්ධනයෙන් 95%කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇත්තේ දැනටමත් අපනයනය කරන නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීමෙන් බවත්, එම කාලය තුළ හඳුන්වාදුන් නව නිෂ්පාදන දහසකට ආසන්න සංඛ්‍යාවෙන් තරගකාරීත්වය තහවුරු කරගැනීමට සමත්ව ඇත්තේ 43ක් පමණක් බවත් එම ආයතනය පෙන්වා දෙනවා.
එමෙන්ම, අපනයන විවිධාංගීකරණය කිරීම, යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය සමඟ අන්‍යෝන්‍ය වෙළෙඳ ගිවිසුම් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම සහ ඇමෙරිකාව සමඟ වාසිදායක තීරුබදු කොන්දේසි සහිත ගිවිසුම් සලකා බැලීමේ වැදගත්කමද අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා පළමුව දේශීය වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදුකර, තීරුබදු ක්‍රමය සරල කිරීම සහ අතිරේක තීරුබදු ඉවත් කිරීම වැනි පියවර ගත යුතු බව IPS නිර්දේශ කරනවා.
මෙම කරුණු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) පර්යේෂණ මත පදනම් වන අතර, ඒවායින් කිහිපයක් එළිදැක්වීමට නියමිත Sri Lanka: State of the Economy 2026 වාර්තාවටද ඇතුළත් වනවා.
















