ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින සටන් විරාමය දීර්ඝ කිරීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික ගමනාගමන සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වයම අඟහරුවාදා (28) එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම ගිවිසුම තවමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුමත කර නොමැති අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ ගිවිසුම තවමත් අවසන් කර නොමැති බවයි.මෙම ගිවිසුම පිළිබඳව කරුණු දන්නා මූලාශ්‍ර හතරක් පවසන්නේ, යෝජිත මෙම ගිවිසුම මගින් දැනට පවතින සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීමටත්, උපායමාර්ගික නාවික මාර්ගය හරහා නැව් ගමනාගමනයට ඉඩ ලබා දීමටත් සැලසුම් කර ඇති බවයි. එම කාලය තුළදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි සංකීර්ණ ගැටලු විසඳීම සඳහා සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
පෙබරවාරි 28 දින ආරම්භ වූ ගැටුම් වලින් පසු සාමය සඳහා ගනු ලැබූ විශාලතම පියවර මෙය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අප්‍රේල් මස මුලදී සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට දෙරට අතර විටින් විට ප්‍රහාර හුවමාරු සිදුවීමෙන් සටන් විරාමය අස්ථාවර තත්ත්වයක පැවති පසුබිමක මෙම නව එකඟතාවය වාර්තා විය.
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසා ඇත්තේ සාකච්ඡා සාර්ථක මාවතක පවතින නමුත් තවමත් ගිවිසුම සම්පූර්ණ වී නොමැති බවයි. ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය ද සඳහන් කර ඇත්තේ ගිවිසුමේ අන්තර්ගතය තවමත් තහවුරු කර හෝ අවසන් කර නොමැති බවයි.
















