හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී තම නීති උල්ලංඝනය කළ බව පවසමින් නෞකා 45ක් අසාදු ලේඛනගත කිරීමට ඉරානය පියවර ගෙන තිබේ. ඉරානය විසින් අලුතින් පිහිටුවන ලද ‘පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය’ මගින් නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම නෞකා සඳහා අධික දඩ පැනවීම, නෞකා රඳවා තබා ගැනීම මෙන්ම ඒවායේ ප්‍රවාහනය කරන භාණ්ඩ රාජසන්තක කිරීම ඇතුළු දැඩි නීතිමය හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති නෞකා අතර ඉතා විශාල ප්‍රමාණයේ බොර තෙල් ප්‍රවාහන නෞකා, ස්වභාවික ගෑස් (LNG) සහ පෙට්‍රෝලියම් ගෑස් (LPG) ප්‍රවාහන නෞකා මෙන්ම පිරිසිදු පෙට්‍රෝලියම් නිෂ්පාදන ප්‍රවාහනය කරන නෞකා ද ඇතුළත් වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ADNOC Logistics and Shipping සමාගමට සහ සෞදි අරාබියේ ජාතික නාවික සමාගම වන Bahri සමාගමට අයත් ප්‍රමුඛ පෙළේ නෞකා ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබීමයි. මීට අමතරව, අදාළ නෞකා සමඟ මුහුදේදී භාණ්ඩ හුවමාරු කරගන්නා අනෙකුත් නෞකා ද අසාදු ලේඛනගත කරන බවට ඉරානය වැඩිදුරටත් තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් කර ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා සියලු නෞකා ඊට පෙර ඉරානයෙන් පූර්ව අවසර ලබාගත යුතු බවත්, ආරක්ෂාව සහ නාවික සේවා සඳහා නියමිත ගාස්තු ගෙවිය යුතු බවත් ඉරාන බලධාරීන් මීට පෙර ද ප්‍රකාශ කර තිබුණි. මෙම නවතම තීරණයත් සමඟ පර්සියානු ගුප්ත කලාපයේ නාවික වෙළෙඳ කටයුතු සහ ගෝලීය ඉන්ධන සැපයුම් ජාලය කෙරෙහි නැවත වතාවක් දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව තිබේ.














