ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කර ගැනීමට නියමිත නව සාම ගිවිසුම යටතේ ලෝක වෙළෙඳාමට අතිශය වැදගත් වන “හෝමුස් සමුද්‍ර සන්ධිය” (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම විවෘත වන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් බැහැර එකක් බව ඉරානය පවසයි. ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන “ෆාර්ස්” (Fars news agency) උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය මේ බව තහවුරු කර තිබේ.
ඉරාන පාලනාධිකාරිය අවධාරණය කරන්නේ ඇමෙරිකාව සමඟ යම් හෙයකින් එකඟතාවයකට හෝ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹුණ ද, හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ ආරක්ෂක පාලනය, අයිතිය සහ කළමනාකරණය දිගටම ඉරානය සතුව පවතින බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර නිවේදනය කර තිබුණේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය නිමා කරන නව ගිවිසුම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, එහි ප්‍රධාන කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව විවෘත කිරීමට කටයුතු කෙරෙන බවත් ය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයට ඉරානයෙන් වහාම මෙලෙස ප්‍රතිචාර දැක්වීමත් සමඟ, දෙරට අතර ඇති වීමට යන නව එකඟතාවයේ ස්ථාවරභාවය පිළිබඳව ගෝලීය දේශපාලන ක්ෂේත්‍රය තුළ නැවතත් දැඩි අවිනිශ්චිතතාවයක් මතු වී ඇත.














