දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් දැඩි බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිවේදනය කරයි. එම මධ්‍යස්ථානය අද (24) උදෑසන නිකුත් කළ නවතම වාර්තාවට අනුව, දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කට අයත් පවුල් 7,482ක පුද්ගලයින් 28,933 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
මෙම ආපදා තත්ත්වයෙන් දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, එහි පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313ක් පීඩාවට පත්ව සිටිති. අවාසනාවන්ත ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් ද වාර්තා වී ඇත. මීට අමතරව, කොළඹ (පුද්ගලයින් 4,566ක්), රත්නපුර (පුද්ගලයින් 4,558ක්) සහ පුත්තලම (පුද්ගලයින් 4,265ක්) යන දිස්ත්‍රික්කවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. කළුතර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් ද පීඩාවට පත් පිරිස් වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණය, ගංවතුර සහ තද සුළං හේතුවෙන් දිවයින පුරා පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 836ක් වාර්තා වී ඇත. මෙයින් ද වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 530ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පළාත් පාලන ආයතන එක්ව මේ වන විටත් හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.














