ලෙබනනයේ පවතින යුදමය වාතාවරණය අවසන් වන තුරු, අමෙරිකා-ඉරාන සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බව ඉරාන ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ඉරාන ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන හා තොරතුරු ප්‍රචාරණ නියෝජ්‍ය ප්‍රධානියා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ඊශ්‍රායලය විසින් ලෙබනනය තුළ සිදු කරනු ලබන ප්‍රහාර සහ අපරාධ දිගින් දිගටම සිදුවීම මුළුමහත් සාම ගිවිසුමම අවලංගු වීමට හේතු විය හැකි බවයි. අද (21) ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවලදී මෙම ගිවිසුම උල්ලංඝනය වීම පිළිබඳව දැඩිව කරුණු මතු කරන බව ද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) පරමාණුක අවි සම්බන්ධයෙන් අමෙරිකාවේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, ඉරානයට පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමේ කිසිදු වුවමනාවක් නොමැති බව තම රටේ උත්තරීතර නායකයා මීට පෙර පවා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි. අමෙරිකාව දිගින් දිගටම බෝම්බ නිෂ්පාදනය නොකරන ලෙස බලපෑම් කළ ද, ඉරානයේ ස්ථාවරය එලෙසම පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති මෙම සාම සාකච්ඡා, මධ්‍යම පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය සමනය කිරීමට කෙතරම් දුරට දායක වේද යන්න ලෝකයාගේම අවධානයට ලක්ව ඇත.














