ඇමෙරිකාව සමඟ උද්ගත වී ඇති සෘජු යුද ගැටුම් හේතුවෙන්, දශක හතරකට අධික කාලයක් පුරා පලස්තීන අරගලය වෙනුවෙන් පෙනී සිටි ඉරානයේ සහයෝගය හමාස් සංවිධානයෙන් ඈත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාව සමඟ යුද වැදීම නිසා තම රටේ ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා දී ඇති ඉරානය, ගාසා තීරයේ සිදුවන ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් පෙර පැවති ක්‍රියාකාරී මැදිහත්වීම්වලින් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටියි.
ඇෆ්ගනිස්ථානයේ කාමා පුවත් සේවය පෙන්වා දෙන පරිදි, හමාස් සංවිධානය සමඟ සබඳතා තවදුරටත් පවත්වාගෙන ගියද, ඉරාන රජය මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය වෙතය. ඉරානයේ ජාතික ආරක්ෂාව සහ ප්‍රහාර වළක්වා ගැනීමේ උපායමාර්ගික අවශ්‍යතා සඳහා හමාස් සංවිධානයට වඩා හෙස්බුල්ලා සංවිධානය වඩාත් වැදගත් වත්කමක් ලෙස ඉරානය සලකයි. ඇමෙරිකාව සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී ලෙබනනයේ සිදුවන ඊශ්‍රායල ප්‍රහාර අත්හිටුවීම සඳහා කොන්දේසි පැනවීමට ද ඉරානය කටයුතු කර ඇත්තේ මෙම උපායමාර්ගික වෙනස නිසාය. කලාපීය බලය තහවුරු කර ගැනීමේ අරගලයේදී හමාස් සංවිධානයට වඩා හෙස්බුල්ලා සංවිධානය ඉරානයට වාසිදායක බලපෑම් කළ හැකි පාර්ශ්වයක් බව විචාරකයෝ පවසති.
















