පසුගිය පෙබරවාරි මාසයේ අග භාගයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය හේතුවෙන් අවහිර වූ තීරණාත්මක හෝමූස් මුහුදු මාර්ගය යළි විවෘත කිරීම සඳහා ඉරානය සහ ඕමානය අතර සාකච්ඡා පවත්වමින් තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් දෙරට අතර යම් එකඟතාවකට පැමිණ ඇති අතර එහි අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැති කාසිම් ගරිබාබදි ප්‍රකාශ කර ඇත්තේ මෙම නව මාර්ගය මාස 2ක සිට මාස 4ක් වැනි කාලසීමාවකට තාවකාලිකව විවෘතව තැබීමට සැලසුම් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම නෞකාවලින් සහ භාණ්ඩවලින් 5% සිට 7% දක්වා ගාස්තුවක් අය කිරීමට ඉරානය යෝජනා කර තිබුණද, ඕමානයේ යෝජනාව වී ඇත්තේ එම ගාස්තුව 3% මට්ටමේ පවත්වාගත යුතු බවය. රොයිටර් පුවත් සේවයට අනුව, මෙම යෝජනාව හරහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන සියලු නෞකා පාලනය කිරීමේ සහ පූර්ණ අනුමැතිය ලබා දීමේ බලය ඉරානයට හිමිවන බැවින්, එය යුද්ධයෙන් ඉරානය ලබන විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් අරාබි මුහුදේ රැඳී සිටින අමෙරිකානු හමුදා තවදුරටත් ඉරානයේ වරායන් වෙත පිවිසෙන නෞකා අවහිර කරමින් සිටින බැවින්, මෙම ගිවිසුමෙන් පමණක් සම්පූර්ණ ආරක්ෂිත නෞකා ගමනාගමනයක් සහතික කළ නොහැකි බව ඉරානය පෙන්වා දෙයි.














