ඇමෙරිකාව සමඟ පවතින ගැටුම අවසන් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට එකඟ වුවද, සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබාදීමට ඉරානය සූදානම් නොමැති බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ.
Reuters වෙත අදහස් දක්වමින් එම නිලධාරියා සඳහන් කර ඇත්තේ, ඇමෙරිකාව ඉරානයේ සියලු කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබෙන බවයි. ඉරානය ඉදිරිපත් කර ඇති යෝජනාව යටතේ සියලු පෙරමුණුවල සටන් අවසන් කිරීම, ඉරාන වරායන්ට පනවා ඇති ඇමෙරිකානු නාවික අවහිරය ඉවත් කිරීම, ඉරානයේ අත්හිටුවා ඇති අරමුදල් මුදාහැරීම සහ තෙල් සම්බාධක ඉවත් කිරීම ඇතුළු කොන්දේසි ඉදිරිපත් කර තිබේ.
ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් පවසා ඇත්තේ, ඇමෙරිකාව සමඟ සටන් අවසන් කිරීම සඳහා එකඟතාවකට නොවැම්බර් 3 වනදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර පැමිණීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත්, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවකට සූදානම් වන්නේ තම කොන්දේසි ඉටු කිරීමෙන් පසුව බවද වාර්තා වේ.
මේ අතර, සැප්තැම්බර් 9 වැනිදා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට වාර්තා කිරීමට යෝජනාවක් සම්මත කර තිබුණි.
















