ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන ඇති බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලමේ ජනාවාස ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට හඳුනාගත් තවත් සමාගම් 61ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් සිය දත්ත ගබඩාවට ඇතුළත් කර තිබේ.
ඒ අනුව එම ලැයිස්තුවේ ඇති සමස්ත ව්‍යාපාර සංඛ්‍යාව 214ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒවා රටවල් 11ක පිහිටි සමාගම් බව වාර්තා වේ. නවතම යාවත්කාලීනයේදී සමාගම් 158ක් පැවති පෙර ලැයිස්තුවෙන් සමාගම් පහක් ඉවත් කර තිබේ.
UN වාර්තාවට අනුව, ජනාවාස ඉදිකිරීම හා පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීම, නිරීක්ෂණ හා හඳුනාගැනීමේ උපකරණ සැපයීම, බැංකු සේවා ලබාදීම මෙන්ම සේවා හා උපයෝගිතා සැපයීම ඇතුළු නිශ්චිත ක්‍රියාකාරකම් 10කින් එකකට හෝ සමාගමක් සම්බන්ධ වී ඇති බවට සාධාරණ පදනමක් තිබේ නම් එය දත්ත ගබඩාවට ඇතුළත් කිරීමට සලකා බලන බව එම වාර්තාව සඳහන් කරයි.
නව ලැයිස්තුවට ස්පාඤ්ඤ සමාගමක් වන Salvat Logistica සහ ඊශ්‍රායල දේපළ ආයෝජන සමාගමක් වන Alony Hetz ද ඇතුළත් කර තිබේ. Expedia, TripAdvisor, Airbnb සහ Motorola වැනි සමාගම්ද මීට පෙර එම ලැයිස්තුවට ඇතුළත් කර තිබූ බව වාර්තා වේ.
UN වාර්තාවේ සඳහන් කර ඇති මෙම දත්ත ගබඩාවට සමාගමක් ඇතුළත් කිරීම අපරාධ අධිකරණයකදී වරදකරු බව තීන්දු කිරීමකට සමාන නොවන බවද පැහැදිලි කර තිබේ. සමාගම්වලට තමන් සම්බන්ධයෙන් අමතර තොරතුරු හෝ පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන අතර, එවැනි සමාගම් සම්බන්ධයෙන් UN විසින් තක්සේරු කිරීමක් සිදුකරනු ලැබේ.
















