පසුගිය යුධමය ගැටුම් සමයේදී ඇමෙරිකානු සහ ඉශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ දැඩි හානියට පත් වූ ඉරාන යුධ ශක්තිය යළි ගොඩනැංවීමේ පියවරක් ලෙස, ටෙහෙරාන් පාලනය සිය භූගත හමුදාමය පරිශ්‍රයන් තුළ නැවත බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය ආරම්භ කර ඇති බව The Wall Street Journal සහ The Jerusalem Post පුවත්පත් වාර්තා කරයි.
ඇමෙරිකානු සහ මධ්‍යපෙරදිග උසස් බුද්ධි නිලධාරීන් උපුටා දක්වමින් පළවන වාර්තාවලට අනුව, ඉරානය සතුව දැනට පවතින අතිරික්ත සංරචක භාවිත කරමින් ඛෝජීර් ඇතුළු ප්‍රධාන භූගත කර්මාන්තශාලා තුළ මෙලෙස වේගයෙන් මිසයිල එකලස් කිරීම සිදුකරනු ලබයි. ඉරාන මිසයිල නිෂ්පාදන ධාරිතාව සහ තාක්ෂණික ව්‍යුහය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට මීට පෙර ඇමෙරිකානු සහ ඉශ්‍රායල ආරක්ෂක අංශ කළ තක්සේරුවලට අභියෝග කරමින් ඉරානය මෙලෙස ඉතා කෙටි කාලයකදී නැවත නිෂ්පාදන ක්‍රියාවලිය වෙත පැමිණීම ඉශ්‍රායල ආරක්ෂක අංශවල දැඩි කම්පනයට සහ අවධානයට හේතු වී ඇත.














