ඇමෙරිකානු නාවික හමුදාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම අඛණ්ඩව සිදු කළහොත්, පර්සියානු ගල්ෆ්, ඕමාන් බොක්ක සහ රතු මුහුද ආශ්‍රිත සියලුම අපනයන හා ආනයන කටයුතු නතර කරන බවට ඉරානය අනතුරු අඟවයි. ඉරාන සන්නද්ධ බලකායන් සම්බන්ධීකරණය කරන උච්චතම මෙහෙයුම් මූලස්ථානය වන ‘Khatam al-Anbiya’ මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරී අලි අබ්දුල්ලාහි (Ali Abdollahi) ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවයි.
පසුගිය සඳුදා ආරම්භ වූ මෙම ඇමෙරිකානු නාවික අවහිරය හේතුවෙන් පළමු පැය 24 තුළ කිසිදු නෞකාවකට එම කලාපය පසුකර යාමට ඉඩ නොදුන් බවත්, වෙළඳ නෞකා හයක් ආපසු හරවා යැවූ බවත් ඇමෙරිකානු හමුදාව තහවුරු කරයි. ඉරානය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර සති හයක් පුරා පැවති යුදමය වාතාවරණයෙන් පසු අප්‍රේල් 08 වැනිදා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි.
දෙරට අතර පැවති පළමු වටයේ සාකච්ඡා අසාර්ථක වුවද, ඉදිරි දින දෙක ඇතුළත යළිත් සාකච්ඡා ආරම්භ විය හැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් ඉරානය ඒ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.














