පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඉශ්‍රායලය ඒකාබද්ධව දියත් කළ ප්‍රහාරවලින් ඝාතනයට ලක්වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උත්කෘෂ්ට නායක අයතුල්ලා සෙයියද් අලි ඛමේනි වෙනුවෙන් පැවැත්වුණු ඓතිහාසික අවමංගල්‍ය පෙරහැරේදී මතු වූ ජනතා ඉල්ලීම්වලට ඉරාන රජයේ නිල ප්‍රතිචාරය ලැබී තිබේ. ඉරාන ඉස්ලාමීය ජනරජයේ පළමු උප ජනාධිපති මොහොමඩ් රේසා ආරෙෆ් (Mohammad Reza Aref) ප්‍රකාශ කළේ, මෙම ත්‍රස්තවාදී ඝාතකයන්ට ස්ථිර ලෙසම දඬුවම් පැමිණවීම උපායමාර්ගික තාර්කිකත්වයක් තුළින් ළඟා කර ගත යුතු ඉරානයේ ස්වෛරී වගකීමක් බවයි.
තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පළමු උප ජනාධිපතිවරයා අවධාරණය කළේ, මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ මෙම අවමංගල්‍ය උත්සවයේදී නැඟුණු ඝාතකයන්ට දඬුවම් කිරීමේ ජාතියේ සාධාරණ ඉල්ලීම, ස්වයං ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර මූලධර්මවලට අනුකූල වන නීත්‍යානුකූල අයිතියක් බවයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය වන IRNA වාර්තා කරන පරිදි, සමස්ත අවමංගල්‍යය පුරාම ශෝකවන්නන් විසින් නඟන ලද ප්‍රධාන ඉල්ලීම මෙය වූ අතර, මෙම අපරාධයට වගකිවයුත්තන්ට දඬුවම් කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉරානය පසුබට නොවන බව ආරෙෆ් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















