රජය සිය ප්රධාන කාර්යය වන රට පාලනය කිරීම පසෙකලා, දේශපාලන ප්රතිවාදීන්ගෙන් පළිගැනීම, අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් සඳහා පමණක් දැඩි ලෙස අවධානය යොමු කරමින් සිටින බව හිටපු අධිකරණ හා විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා චෝදනා කරයි. මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මාරාන්තික ගැටුමෙන් පසුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, රජයක මූලික වගකීම විය යුත්තේ තම පූර්වගාමීන් පසුපස හඹා යෑම නොව, ජාතික ගැටලුවලට විසඳුම් සෙවීම බවයි.
පළිගැනීම මෙහෙයුමක් කරගත් විට රාජ්ය පාලනය එහි පළමු ගොදුර බවට පත්වන බව පෙන්වා දෙන අලි සබ්රි මහතා, රට පුරා පැතිර යන ඩෙංගු අවදානම, බන්ධනාගාර අධික තදබදය, ගොවීන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොමැති වීම සහ ඉහළ යන ජීවන වියදම වැනි සැබෑ ජනතා ප්රශ්න හමුවේ රජයේ ක්රියාකලාපය කුමක්දැයි ප්රශ්න කර සිටියි. “මාංචු දැමීම සෞඛ්ය ප්රතිපත්තියක් නෙවෙයි; රිමාන්ඩ් නියෝගයක් කෘෂිකාර්මික ප්රතිපත්තියක් නෙවෙයි; නඩු පැවරීමක් ආර්ථික වැඩපිළිවෙළක් නෙවෙයි; සිරකුටියක් කියන්නේ යහපාලනයේ සාක්ෂියක් නෙවෙයි” යනුවෙන් පවසන ඔහු, අත්අඩංගුවට ගැනීම් මඟින් මාධ්ය සිරස්තල මැවිය හැකි වුවත් ඒවායින් මහජන ප්රශ්න විසඳෙන්නේ නැති බව අවධාරණය කරයි. දේශපාලන බලය තාවකාලික වුවද, අද නිර්මාණය කරන වැරදි පූර්වාදර්ශයන් හෙට දවසේ තමන්ටම කැරකී ආ හැකි බවට ද ඔහු වත්මන් රජයට අනතුරු අඟවා සිටියි.
















