ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත බලපෑම් කර ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසත්, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වෙත යොමු වන ලෙසත් ගල්ෆ් රටවලට ඉරානය දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කර තිබේ. එසේ නොමැති වුවහොත් ගල්ෆ් රටවල තෙල්, විදුලි සහ ජල සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරාන රජය දන්වා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඇමරිකාව විසින් ඉරානයේ බලශක්ති ජාලයට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට කළ තර්ජනයෙන් පසු, ගල්ෆ් කලාපයේ බලශක්ති පහසුකම්, තෙල් ක්ෂේත්‍ර, ජල හා ප්‍රවාහන ජාලයන් වෙත දැඩි හානි සිදු කළ හැකි බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ඇතුළු ඉරාන නිලධාරීන් සෞදි අරාබිය, කටාර් සහ තුර්කිය ඇතුළු රටවල් වෙත මෙම පණිවිඩය ලබා දී ඇත. කලාපීය යුධ උණුසුම පාලනය කරගැනීමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට එළඹෙන ලෙස සෞදි ඔටුහිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ඇතුළු නායකයන් ද ඇමරිකාවෙන් ඉල්ලා ඇති අතර, තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් තමන් ආරක්ෂා වීමට පියවර ගන්නා බව සෞදි අරාබිය දන්වා තිබේ.














