ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින සබඳතා පිළිබඳ විදේශීය මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ප්‍රකට ඉරාන ජාතික විද්වතෙකු සහ මාධ්‍ය විශ්ලේෂකයෙකු වන යූසොෆ් අසීසි (Yousof Azizi) පිටුවහල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඔහු සිය වීසා අයදුම්පත්‍රයේ අසත්‍ය තොරතුරු සඳහන් කළ බවට චෝදනා කරමින් පසුගිය සඳුදා (13) දින ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) පවසන්නේ, අසීසි 2006-2010 කාලය තුළ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ‘බසීජ්’ ශිෂ්‍ය සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවත්, වීසා ලබා ගැනීමේදී එම තොරතුරු වසන් කර ඇති බවත්ය. කෙසේ වෙතත්, මුස්ලිම් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන (CAIR) පවසන්නේ වර්තමාන ඉරාන යුද වාතාවරණය හමුවේ ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය විවේචනය කරන හඬවල් මර්දනය කිරීම සඳහා රජය මෙලෙස කටයුතු කරන බවයි. වර්ජිනියා ටෙක් සරසවියේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන අසීසි, Sky News සහ BBC Persian වැනි නාලිකාවල නිරන්තරයෙන් අදහස් දක්වන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටී. ට්‍රම්ප් පාලනය මෑතකදී පලස්තීනයට සහ ඉරානයට හිතවාදී අදහස් දක්වන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි පිටුවහල් කිරීම් කිහිපයක්ම සිදු කර තිබේ.














