ඇමෙරිකානු ප්‍රාන්ත කිහිපයක පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ධාරිතාව නිරීක්ෂණය කරන පරිණක පද්ධති බිඳහෙලීම පිටුපස ඉරාන හැකර්වරුන් සිටින බවට ඇමෙරිකානු බුද්ධි අංශ සහ ආරක්ෂක බලධාරීන් දැඩි සැක පහළ කරයි. හැකර්වරුන් විසින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන, මුද්‍රිත මුරපද මඟින් ආරක්ෂා කර නොතිබූ ‘ස්වයංක්‍රීය ටැංකි මිනුම් පද්ධති’ (ATG) මෙලෙස සිය ග්‍රහණයට ගෙන ඇත. මේ හේතුවෙන් ඉන්ධන ටැංකිවල සැබෑ ඉන්ධන මට්ටමට හානියක් සිදුව නොමැති වුවද, එහි දර්ශක සටහන් වෙනස් කිරීමට හැකර්වරුන් සමත්ව තිබේ. ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ හරහා මෙතෙක් භෞතික හානියක් සිදු නොවුණත්, පද්ධතියට ඇතුළු වීමෙන් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් එය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි වෙනස් කිරීමට ඉඩකඩ පවතින බැවින් මෙය දැඩි අවදානම් සහගත තත්ත්වයක් බවයි. හැකර්වරුන් විද්‍යාත්මක සාක්ෂි ඉතිරි කර නොමැති නිසා මෙහි වගකීම සෘජුවම ඉරානය වෙත පැවරීමට ඇමෙරිකානු රජයට මෙතෙක් නිශ්චිත සාක්ෂි ලැබී නැත.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ, ඉරාන ඩ්‍රෝන හෝ මිසයිල ප්‍රහාරවලට ළඟා විය නොහැකි ඇමෙරිකානු භූමියේ පවතින මෙවැනි තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කිරීම බරපතළ තත්ත්වයකි. එමෙන්ම, මෙම යුද්ධය හේතුවෙන් ඇමෙරිකාව තුළ ඉන්ධන මිල ඉහළ යාම ට්‍රම්ප් පරිපාලනයට දේශපාලනික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කර ඇත. ඇමෙරිකානු බුද්ධි අංශ මීට පෙර ඉරානයේ සයිබර් තාක්ෂණික හැකියාවන් චීනයට හෝ රුසියාවට වඩා අඩු මට්ටමක පවතින බව උපකල්පනය කළද, වත්මන් යුද සමයේදී ඉරානය එල්ල කරන ප්‍රහාරයන් හරහා ඔවුන් අනපේක්ෂිත සතුරෙකු බව සනාථ කර තිබේ.
යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරාන හැකර්වරුන් විසින් ඇමෙරිකාවේ තෙල්, ගෑස් සහ ජල පද්ධතිවලට බාධා පමුණුවා ඇති අතර, ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානු වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමක් වන ‘ස්ට්‍රයිකර්’ ආයතනයේ සැපයුම් ද ප්‍රමාද කර ඇත. එමෙන්ම, FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල්ගේ පෞද්ගලික ඊමේල් පණිවිඩ ද ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඊශ්‍රායල සයිබර් ආරක්ෂණ ආයතනයේ ප්‍රධානී යොසි කරාඩි සී.එන්.එන්. නාලිකාවට පවසා ඇත්තේ, මෙම යුද සමය තුළ ඉරානයේ සයිබර් මෙහෙයුම් සහ මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයන්හි වේගය සහ පරිමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.














