ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඉහළම පිරිවැයක් දරමින් මෙරටට ඇණවුම් කරන ලද නවතම ඩීසල් නැව්ගත කිරීම් දෙක මෙම වසරේ මැයි 6 සහ මැයි 10 යන දිනවලදී දිවයිනට ළඟා වී ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ වෙනත් කිසිදු ඉන්ධන තොගයක් පැමිණීමට නියමිතව නැත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකූමාරගේ මහතා ප්‍රකාශ කළේ, දැනට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි. කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් මාසයේදී ලෝක වෙළෙඳපොළේ මිල ගණන් දරුණු ලෙස ඉහළ යාම හේතුවෙන් සිපෙට්කෝ ආයතනයට අධික පිරිවැයක් දැරීමට සිදුව තිබේ. එහිදී අප්‍රේල් පළමු සතිය තුළ සුපර් ඩීසල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 303.76 බැගින් බැරල් 38,814ක් ද, සාමාන්‍ය ඩීසල් බැරලයක් ඩොලර් 289.47 සහ ඩොලර් 281.87 බැගින් බැරල් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇත. මාර්තු මාසයේ සිට මැයි මුල් සතිය දක්වා ඩීසල් මිලදී ගත් මිල පරාසය බැරලයකට ඩොලර් 172.74 සිට ඩොලර් 303.76ක් වැනි ඉහළ අගයක් ගෙන තිබේ.
ඩීසල්වලට සාපේක්ෂව පෙට්‍රල් මිල තරමක් අඩු මට්ටමක පැවති අතර, පෙට්‍රල් 92 සඳහා වැය කළ ඉහළම මුදල අප්‍රේල් අවසන් සතියේදී බැරලයකට ඩොලර් 153.70ක් ලෙස සටහන් විය. එම සතියේම අවම මිල ලෙස බැරලයක් ඩොලර් 130.89 බැගින් පෙට්‍රල් බැරල් 312,899ක් මිලදී ගෙන ඇත. මේ අතර මාර්තු සහ අප්‍රේල් මාසවලදී පෙට්‍රල් 95 නැව්ගත කිරීම් දෙකක් පමණක් පැමිණ ඇති අතර ඒවා බැරලයක් ඩොලර් 143.53 සහ ඩොලර් 154.72 බැගින් මිලදී ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ පවතින සැබෑ තත්ත්වය අනාවරණය කරමින් කියා සිටියේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස ඉහළ යාම නිසා දේශීය වශයෙන් ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 720ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 720ක් වුවද, වත්මන් පාරිභෝගිකයන් වෙත එය තවමත් අලෙවි කරනු ලබන්නේ රුපියල් 392ක සහන මිලකට බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
















