ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෑත කාලයේ වාර්තා වූ දැවැන්තම පෙරළිය සිදු කරමින්, ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කර ඓතිහාසික විස්සයි20 (T20) ජයග්‍රහණයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද (26) සමත් විය. බෙල්ෆාස්ට් හිදී පැවැති මෙම තරගයේදී අයර්ලන්තය හමුවේ ඉන්දියාව මෙලෙස පරාජයට පත් වූයේ, දෙරට අතර ක්‍රිකට් ඉතිහාසයේ අයර්ලන්තය ඉන්දියාවට එරෙහිව ලැබූ මුල්ම ජයග්‍රහණය සනිටුහන් කරමිනි. මීට පෙර අවස්ථා 8කදීම ඉන්දියාව හමුවේ පරාජය වී තිබූ අයර්ලන්තය, මෙම නවවැනි උත්සාහයේදී සිය ඓතිහාසික සිහිනය සැබෑ කර ගත්තේය. විශේෂයෙන්ම විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු විස්සයි20 තරගය ද මෙය වීම විශේෂත්වයකි.
තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායක ශ්‍රේයාස් අයියර් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ලෝර්කන් ටකර්ගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 182ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ප්‍රබල ඉන්දීය පිතිකරුවන්ට, අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණි. අයර්ලන්ත පන්දු බලඇණියේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියලුම කඩුලු දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148ක් පමණි. ඒ අනුව අයර්ලන්තයට ලකුණු 34ක විශිෂ්ට ජයක් හිමි විය. තරගය පුරා පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අයර්ලන්තයේ මැතිව් හොලන්ඩ් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සත්කාරක අයර්ලන්තය සමත් විය.
















