අද (22) අලුයම 5.00 වන විට පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 48ක කාලය සඳහා බලපැවැත්වෙන අතර, ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇළ, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව සහ රියැදුරන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පහත් බිම්වල පිහිටි මාර්ග ගංවතුර හේතුවෙන් යටවීමට ඉඩ ඇති බවයි. එම නිසා අදාළ ප්‍රදේශවල ජනතාව තම ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, ආපදා කළමනාකරණ බලධාරීන් අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසත් දැනුම් දී ඇත.














