දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කළද, අත්තනගලු ඔය ආශ්‍රිත පහළ නිම්න ප්‍රදේශවල පදිංචි ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, පෙර දිනවලට සාපේක්ෂව වර්ෂාව අඩුවීමත් සමඟ ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින නමුත් අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි.
ඒ අනුව එම ඔයේ පහළ ප්‍රදේශ වන ගම්පහ, කටාන සහ වත්තල වැනි ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතුය. වැසි තත්ත්වය සමනය වෙමින් පැවතියද කළු ගඟේ මිල්ලකන්ද මධ්‍යස්ථානයෙන් සහ කැලණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් ද තවදුරටත් ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බැවින්, ගංගා ආශ්‍රිතව වෙසෙන පිරිස් විමසිලිමත් වීම වැදගත් වේ. ඉදිරි පැය කිහිපය තුළ ලැබෙන වර්ෂාපතනය මත පදනම්ව ජලාශවල වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව ද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.














