විධිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් සඳහා සත්‍යවාදී දත්ත හා තොරතුරු අත්‍යවශ්‍ය වුවද, වත්මන් රජය පවතින යථාර්ථයට පටහැනි වැරදි දත්ත මත පදනම්ව සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. අද (16) තිස්සමහාරාමයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති දරිද්‍රතා දත්ත මහපොළොවේ පවතින සැබෑ තත්ත්වය සමඟ කිසිසේත්ම නොගැලපෙන බවයි.
විශේෂයෙන්ම පුද්ගලයෙකුට මාසයකට රුපියල් 17,000කට ආසන්න මුදලකින් ජීවත් විය හැකි බවට රජය ඉදිරිපත් කරන දත්ත හාස්‍යජනක බවත්, රුපියල වේගයෙන් අවප්‍රමාණය වන වර්තමාන තත්ත්වය තුළ මෙම මුදලින් කිසිසේත්ම ජීවත් විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. රටේ ජනගහනයෙන් 30-40%ක් පමණ දරිද්‍රතාවයෙන් පීඩා විඳින පසුබිමක, රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට පමණක් යට නොවී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. එසේම විපක්ෂයේ සිටියදී පොරොන්දු වූ පරිදි ඉන්ධන මත පනවා ඇති අධික බදු ඉවත් කර ජනතාවට සහන සලසන ලෙසත්, රුපියල ශක්තිමත් කිරීමට නිසි සාර්ව ආර්ථික උපායමාර්ග ක්‍රියාත්මක කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.














