දිවයින පුරා පවතින ධාරාණිපාත මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සහ කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් මේ වන විට “සුළු ගංවතුර” (Minor Flood) මට්ටම දක්වා ළඟා වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශය මඟින් තහවුරු කර තිබේ.
පවතින අධික වර්ෂාපතනය ඉදිරියටත් පැවතුණහොත් මෙම ගංගා ද්‍රෝණි අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතී. මේ හේතුවෙන් කළු ගඟ සහ අත්තනගලු ඔය අවට, විශේෂයෙන්ම රත්නපුර සහ දූනමලේ ආශ්‍රිත පහත්බිම් හා ගංගා නිම්නවල පදිංචි මහජනතාව ඉදිරි පැය කිහිපය තුළ දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, අනතුරු ඇඟවීම් කෙරෙහි සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හදිසි දැනුම්දීමක් කරයි.














