ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරියගේ බැංකු ගිණුම් පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
සිද්ධියට අදාළව කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ, මෙම සැකකාරිය විසින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවයි. විශේෂයෙන්ම ඇය පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමක් පිළිබඳව සිදුකළ විමර්ශනවලදී සැකකටයුතු තොරතුරු රැසක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයට අවසර අවශ්‍ය බව පොලිසිය පැවසීය.
සැකකාරිය දැනට රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන අතර, ඇයගේ මූල්‍ය ගනුදෙනු සහ ඝාතන කුමන්ත්‍රණය අතර පවතින සබඳතාවය අනාවරණය කර ගැනීම මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ අනුව අදාළ බැංකු වාර්තා කැඳවා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.














