ඉරානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකය මෙතෙක් මුහුණ දුන් බරපතළම බලශක්ති අර්බුදය නිර්මාණය වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) ප්‍රධානී ෆාති බිරෝල් (Fatih Birol) මහතා පවසයි. ‘France Inter’ ගුවන් විදුලිය සමඟ අද (21) පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ මෙය ඉතිහාසයේ විශාලතම අර්බුදය බවයි.
ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ. ලෝකයේ සමස්ත තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් (20%) ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම මාර්ගය හරහාය. දැනටමත් රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් යුරෝපයට ලැබෙන ගෑස් සැපයුම සීමා වී ඇති පසුබිමක, මැදපෙරදිගින් එල්ල වන මෙම බලපෑම දරාගත නොහැකි මට්ටමක පවතින බව බිරෝල් මහතා පෙන්වා දෙයි.
බිරෝල් මහතාට අනුව, වත්මන් තත්ත්වය 1973 සහ 1979 වසරවල පැවති ලෝක තෙල් අර්බුදවලට වඩා දරුණුය. ලෝක වෙළඳපොලේ තෙල් මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් සිය හදිසි තෙල් සංචිතවලින් බැරල් මිලියන 400ක් නිදහස් කිරීමට පසුගිය මාර්තු මාසයේදී පියවර ගත්තද, එය ස්ථිර විසඳුමක් නොවන බව ඔහු අවධාරණය කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැවත නිදහසේ නාවික ගමනාගමනය ආරම්භ කිරීම මෙම අර්බුදයට ඇති එකම විසඳුම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














