ඉශ්‍රායල ප්‍රහාර හමුවේ සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත් වූ ගාසා හි ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතනය වන ‘ගාසා ඉස්ලාමීය විශ්වවිද්‍යාලය’ (Islamic University of Gaza) නැවත යථා තත්ත්වයට පත්කරමින් පලස්තීන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට එහි පීඨාධිපතිවරුන්, කථිකාචාර්යවරුන් සහ සිසුන් දැඩි වෙහෙසක් දරමින් සිටිති.
ඉශ්‍රායල ප්‍රහාරවලින් විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි 19ක්, පන්ති කාමර 500ක්, විද්‍යාගාර 200ක් සහ පරිගණක විද්‍යාගාර 75ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, මධ්‍යම පුස්තකාලයේ තිබූ පොත්පත් සහ පර්යේෂණ පත්‍රිකා 240,000කට වැඩි ප්‍රමාණයක් ද අලු වී ගොස් තිබේ.
විශේෂයෙන්ම වෛද්‍ය, සෞඛ්‍ය විද්‍යා සහ ඉංජිනේරු වැනි ප්‍රායෝගික පුහුණුව අත්‍යවශ්‍ය විෂයයන් හදාරන සිසුන් සඳහා අවශ්‍ය විද්‍යාගාර සහ උපකරණ නොමැති වීම විශාල අභියෝගයක් වී ඇත. මේ හේතුවෙන් බොහෝ වෛද්‍ය සිසුන් රෝහල් කොරිඩෝවල, හදිසි අනතුරු ඒකකවල සහ පදික වේදිකාවල සිට වෛද්‍යවරුන්ගෙන් ප්‍රායෝගික පුහුණුව ලබමින් ස්වේච්ඡාවෙන් සේවය කිරීමට පටන් ගෙන තිබේ.
නගරය පුරා විසිරී සිටින සිසුන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා ගාසා තීරයේ ස්ථාන 5ක තාවකාලික අධ්‍යයන මධ්‍යස්ථාන පිහිටුවීමටත්, අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ඩිජිටල් තාක්ෂණය සහ සිමියුලේෂන් (simulations) භාවිත කිරීමටත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
ගොඩනැගිලි සහ විද්‍යාගාර උපකරණ ගෙන ඒමට ඉශ්‍රායලයෙන් එල්ල වන සම්බාධක බාධාවක් වුවද, ගාසාවේ අනාගතය වෙනුවෙන් තරුණ පරපුරේ අධ්‍යාපනය නතර නොකර ඉදිරියට ගෙන යාමට ඔවුන් කැපවී සිටිති.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














