චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී ඇත්තේ, ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරය තුළ කිලෝමීටර් ගණනාවක් දුරට විහිදෙන දැවැන්ත පස් බාධකයක් (earth barrier) සහ තාප්පයක් ඉතා වේගයෙන් ඉදිකරමින් පවතින බවයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම යටතේ ඔවුන් පසුබැස ගිය “කහ රේඛාව” (yellow line) පදනම් කරගනිමින් මෙම ඉදිකිරීම සිදු කර ඇති අතර, මේ වන විට එහි සම්පූර්ණ දිග සැතපුම් 14 කට වඩා වැඩි බව වාර්තා වේ. මෙම ඉදිකිරීම හරහා ගාසා තීරයෙන් 50% කට වැඩි භූමි ප්‍රමාණයක් ඊශ්‍රායලයේ පාලනයට නතු කරගනිමින් සෙසු ප්‍රදේශවලින් වෙන් කර ඇති අතර, හමුදා කඳවුරු සහ නව මාර්ග පද්ධති ද ඉදි කරමින් පවතී.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරන්නේ මෙය තමන්ගේ ආරක්ෂාව සහ අනවසරයෙන් ඇතුළුවීම් වැළැක්වීම සඳහා ගොඩනැගූ “ආරක්ෂක කලාපයක්” බවයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ අවතැන් වූ පලස්තීන ජනතාව දැඩි අසීරුතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වේ.














