ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් (Joseph Aoun) අතර සෘජු දුරකථන සංවාදයක් අද (16) දිනයේ සිදුවීමට නියමිත බව ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ සාමාජිකා ගැලියා ගම්ලියෙල් ප්‍රකාශ කර තිබේ. මෙය සත්‍ය වශයෙන්ම සිදුවුවහොත්, එය වසර 34කට පසු දෙරටේ රාජ්‍ය නායකයන් අතර සිදුවන පළමු සෘජු සම්බන්ධතාවය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
ඊශ්‍රායල පාර්ශ්වයෙන් මෙම පුවත තහවුරු කළද, ලෙබනන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ එවැනි ඇමතුමක් පිළිබඳව තමන්ට නිල වශයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය Truth Social ගිණුම හරහා සටහනක් තබමින්, දෙරටේ නායකයන් අතර මෙම කතාබහ අද දිනයේ සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.
පසුගිය අප්‍රේල් 8 වැනිදා ආරම්භ වූ දින 14ක කොන්දේසි සහිත සටන් විරාමය තුළ ලෙබනනය ද ඇතුළත් බව පාකිස්ථානය ප්‍රකාශ කළත්, ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කරමින් දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව අවධාරණය කළේය. කෙසේ වෙතත්, මෙම සාකච්ඡා හරහා හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම සහ කලාපීය සාමය ඇති කිරීම පිළිබඳව අවධානය යොමු වනු ඇතැයි ඊශ්‍රායල අගමැතිවරයා මීට පෙර ඉඟි කර තිබුණි.














