ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් විසින් ඉරානය වෙත නැවත වරක් දරුණු ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීම සඳහා සියලු මිලිටරි සූදානම් වීම් සිදුකරමින් පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා කර සිටී. නම සඳහන් නොකළ උසස් ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර ඇති ඕනෑම ආකාරයක නව යුදමය ප්‍රහාර මාලාවකට සෘජුවම දායක වීමට ඊශ්‍රායලය මේ වන විට පූර්ණ සූදානමකින් පසුවන බවයි. මෙම ඒකාබද්ධ යුද මෙහෙයුමේදී ප්‍රධාන වශයෙන්ම ඉරානයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි එරට ප්‍රධාන පෙළේ බලශක්ති යටිතල පහසුකම් (Energy Infrastructure) සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ඉදිරි උපායමාර්ගික පියවර පිළිබඳව රහසිගත දුරකතන සංවාදයක් සිදුවී ඇති පසුබිමක මෙම නව මිලිටරි සූදානම පිළිබඳ තොරතුරු වාර්තා වීම විශේෂත්වයකි. ලෝක දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ දෙරටේ නායකයන් අතර ඇති වූ එකඟතාවන්ට අනුව ඉරානයට එරෙහි ප්‍රහාර ඉතා කඩිනමින් දියත් වනු ඇති බවයි.
















