නේපාලයේ සුප්‍රසිද්ධ කඳු නැගීමේ ඓතිහාසික මඟපෙන්වන්නෙකු (Mountain Guide) වන කාමි රීටා ෂර්පා (Kami Rita Sherpa) 32 වන වරටත් ලොව උසම කන්ද වන එවරස්ට් (Mount Everest) මුදුනට සාර්ථකව ළඟා වෙමින් තමන් සතු ව පැවති ලෝක වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට සමත් ව තිබේ. 56 වැනි වියෙහි පසුවන කාමි රීටා, මෙවර එවරස්ට් තරණය සිදුකර ඇත්තේ ’14 Peaks Expedition’ ආයතනය යටතේ විදේශීය කඳු නගින්නන් පිරිසකට වගකීම් සහගත ව මඟපෙන්වමින් සිටියදී ය. ඒ අනුව ඔහු මීටර් 8,849ක් උසැති මෙම මහා පර්වත මුදුනට පෙරවරු 10:12ට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 1994 වසරේදී සිය ප්‍රථම එවරස්ට් සංචාරය ආරම්භ කළ කාමි රීටා, එතැන් සිට විවිධ ගෝලීය හේතූන් මත සංචාරයන් අත්හිටුවූ වසර කිහිපයක් හැර සෑම වසරකම පාහේ මෙම අතිශය දුෂ්කර හා අන්තරායකර ඉලක්කය ජයගෙන තිබීම සුවිශේෂී කරුණකි. මීට සමගාමීව 52 හැවිරිදි ලක්පා (Lakhpa) නමැති ෂර්පා කාන්තාව ද 11 වැනි වරටත් එවරස්ට් ජයග්‍රහණය කරමින්, ලොව කාන්තාවක විසින් වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කිරීමේ තමන් සතු වාර්තාව තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත. නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුව (Department of Tourism, Nepal) විසින් කාමි රීටා ෂර්පා අත්කර ගත් මෙම “ඓතිහාසික සන්ධිස්ථානය” වෙනුවෙන් සහ ගෝලීය වශයෙන් කඳුකර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු දක්වන අනුපමේය දායකත්වය වෙනුවෙන් සිය උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.
















