ඇමෙරිකානු හමුදාව විසින් ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර තවදුරටත් පුළුල් කර ඇති පසුබිමක, ඊශ්‍රායලය ද ඉරානයට එරෙහිව දැවැන්ත මිලිටරි ප්‍රහාර මාලාවක් දියත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව ටෙල් අවිව් (Tel Aviv) නුවරින් ලැබෙන ආරක්ෂක වාර්තා පවසයි. ඇමෙරිකාව විසින් එල්ල කරන මෙම ප්‍රහාර එක් වටයකින් පමණක් අවසන් නොවන බවත්, ඉදිරි දින කිහිපය පුරාම අඛණ්ඩව ඉරානයේ ඉලක්ක වෙත ඇමෙරිකානු බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ තක්සේරු කර ඇත.
මේ හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) සියලුම ප්‍රහාරක සහ ආරක්ෂක අංශවල සන්නද්ධතාව (Readiness) උපරිම මට්ටම දක්වා ඉහළ නංවා තිබේ. පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරල් ඉයාල් සමීර් (Lt. Gen. Eyal Zamir) මහතා එර රට බුද්ධි අංශ, ගුවන් හමුදාව සහ මෙහෙයුම් ප්‍රධානීන් සමඟ විශේෂ ඇගයීම් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඔවුන් ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) සහ පෙන්ටගනය සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් මෙම මෙහෙයුම් සැලසුම් කරමින් සිටියි.
මේ අතර, ඉරානයේ අභ්‍යන්තරයටම ගොස් ප්‍රහාර එල්ල කරන ප්‍රහාරක ජෙට් යානාවලට ගුවනේදීම නැවත ඉන්ධන පිරවිය හැකි විශේෂිත ගුවන් යානා (Refueling Tankers) සති කිහිපයකට පෙර යුරෝපය වෙත රැගෙන ගොස් තිබූ අතර, ඇමෙරිකාව විසින් ඒවාද මේ වන විට කඩිනමින් නැවත මැදපෙරදිග කලාපය වෙත කැඳවමින් සිටින බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















