ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දේශපාලනයෙන් තොර ස්වාධීන ආයතනයක් බවට පත් කරමින්, ඉදිරි වසර තුන ඇතුළත මෙරට පීඩිත ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවති විශේෂ ස්ථීර පත්වීම් සහ උසස්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
2026 අයවැය යෝජනාවලට අනුව, අංක 11/2026 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුකූලව සුදුසුකම් සපුරන ලද කළමනාකරණ සහකාර, විදුලි කාර්මික ඇතුළු ස්ථීර නොවන සේවකයන් 20 දෙනෙකුට මෙහිදී ස්ථීර පත්වීම් පිරිනැමුණි. එමෙන්ම, එම අධිකාරී ඉතිහාසයේ පළමු වතාවට කාර්යක්ෂමතා කඩඉම් විභාගයක් පවත්වා, ඉන් සමත් වූ ප්‍රාථමික ශ්‍රේණිවල රියදුරන් සහ කාර්යාල සේවකයන් 08 දෙනෙකුට ද උසස්වීම් ලබාදීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ආයතනයේ සේවය කරන තවත් 300කට අධික සේවක කණ්ඩායමක ගැටලු විසඳීමට පියවර ගනිමින් සිටින බව ද අවධාරණය කළේය.
















