පසුගිය සිකුරාදා ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින බටහිර ඉවුරේදී ඊශ්‍රායල සොල්දාදුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මාස හතක් වයසැති සැම් ෆාඩ් අබු හයිකල් (Sam Fahd Abu Haikal) නම් පලස්තීන බිළිඳෙකු මියයාම සහ ඔහුගේ දෙමාපියන් තුවාල ලැබීම සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද හමුදාව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. හමුදා පොලිස් අපරාධ පරීක්ෂණ අංශය විසින් මෙම පරීක්ෂණය සිදුකරන අතර, එහි ප්‍රතිඵල හමුදා නීතිපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හමුදාව මුලදී ප්‍රකාශ කර තිබුණේ තම සෙබළුන් දෙසට වේගයෙන් පැමිණි වාහනයකට සෙබළෙකු තනි වෙඩි පහරක් එල්ල කළ බවයි. කෙසේ වෙතත්, බිළිඳාගේ පියා වන ෆාඩ් අබු හයිකල් මහතා පවසන්නේ, හෙබ්‍රොන් නගරය ආසන්නයේදී තමා රථය නවතා තිබියදී, මීටර් දහයක් පමණ දුරින් සිටි සොල්දාදුවෙකු රථයේ ඉදිරිපස වීදුරුව හරහා වෙඩි තැබූ බවයි. එම වෙඩි පහර තම අත සිදුරු කර, බිළිඳාගේ හිසට සහ මවගේ මුහුණට වැදුණු බව ද ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ කිසිදු සොල්දාදුවෙකු හඳුනා ගැනීමට හෝ ඔවුන් තවමත් රාජකාරියේ නිරත වන්නේද යන්න පිළිබඳව හමුදාව නිල වශයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැත.
















