දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (ජූනි 08) සිට 10 වන දින දක්වා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරන පරිදි, මෙම වැඩසටහන රෝගීන් බහුලව වාර්තා වන දිස්ත්‍රික්ක 14කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 72ක් කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරේ.
ජුනි 05 වන දින වන විට දිවයින පුරා රෝගීන් 36,168ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වේ. මීට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වාර්තා වී තිබේ. වසරේ මුල් භාගයේ පැවති වැසි සහිත කාලගුණය මෙම රෝගී ව්‍යාප්තියට ප්‍රධාන හේතුව වී ඇති අතර, මේ වන විට වාර්තා වී ඇති මරණ 20 අතරට කුඩා ළමුන් තිදෙනෙකු ද අයත් වේ.
මෙම මර්දන කටයුතුවලදී නිවාස සහ අවට පරිසරය පරීක්ෂා කිරීමට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතුවලට බාධා කරන හෝ ඔවුන්ගේ උපදෙස්වලට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මෙම අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට මහජනතාවගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් කියා සිටී.
















