27 April 2024
#දේශීය

පොදු ප්‍රවාහන රථ ආනයනය කිරීමේ දී ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී ඇතිවන ගැටලු විසඳීම සඳහා වහාම මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව හෙතෙම පැවසිය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාහන ආනයනය කරන්නන් සමග පැවැති සාකච්ඡාවක දීය.

එහි දී ආනයනකරුවන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇති බවයි. පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ ඇතුළු රථ වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්න ද ඒවා ආනයනය කිරීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් කියා සිටියේ.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි. අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *