මැදපෙරදිග කලාපයේ පවතින යුද වාතාවරණය හමුවේ දේශීය කෘෂිකර්මාන්තයට එල්ල විය හැකි බලපෑම් අවම කිරීම ඉලක්ක කරගත් ‘ඉසුරු ගෙනෙන යලක්‘ විශේෂ ජාතික වැඩසටහන ලබන 14 වැනිදා ආරම්භ කරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසයි. මෙම ජාතික මෙහෙයුමේ සමාරම්භය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුනම හතාගල ගම්මානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතය.
අද (11) පෙරවරුවේ පේරාදෙණියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ යුද තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික භාණ්ඩ ආනයන-අපනයන කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බවයි. මෙහිදී යෙදවුම් මිල ඉහළ ගියද රජය මැදිහත් වී පැරණි මිලටම පොහොර ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ඇතුළු ආයතන රැසක ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා නව තාක්ෂණය භාවිත කරමින් දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, ශ්‍රම හිඟයට විසඳුම් සෙවීම සහ තාක්ෂණික දැනුම සෘජුවම ගොවිබිමට ලබාදීම මූලිකවම අපේක්ෂා කෙරේ.














