27 April 2024
#දේශීය

2024 වර්ෂයට එන අයවැයේදී ජනතා සහන ලබාදීමට කටයුතු කරන එක ඉතාම සුදුසුයි – මන්ත්‍රී රෝහිත

අත්‍යවශ්‍ය භාණ්ඩ ,විදුලි, ගෑස්, තෙල් අද වන විට ඉතා හොඳ මට්ටමක පවතින නමුත් ඒවායේ මිල ගණන් පිළිබඳව ජනතාවට දරාගත නොහැකි තත්වයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “මේ වන විට අපේ රටේ ආර්ථික වශයෙන් ජනතාවට ඉතාමත් හොඳින් ජනතාවගේ ජිවිතය ගතකරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීමේ වගකීම තමයි රජයක් හැටියට භාරවෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ රජය උත්සහ කරනවා එදා තිබුණු තත්වයට වැඩිය හොඳ ස්ථාවරභාවයකින් ඉදිරි අනාගතයේදී මේ රටේ ආර්ථික ශක්තියක් ඇති ජනතාවක් ඇති කරන්න. 2022 වර්ෂයේ අපි ආර්ථික වශයෙන් කඩාවැටුනා. ඒ වගේම අරගල නිර්මාණය වුණා. කඩාවැටුණු රට අරගලවලින් තවත් කඩා වැටුණා. ආර්ථික වශයෙන් වැටිලා තිබුණු රට ගිනි තියලා, මිනි මරලා, දේපළ විනාශ කරලා , ආදායම් ලබන තැන්වල දොරගුලු වහලා , සංචාරක ව්‍යාපාරය කඩාවට්ටලා මේ වගේ විශාල විපර්යාසයන් සිදුවුණා. නමුත් අද දිහා බලනකොට ඒ අවශ්‍යකරන අත්‍යවශ්‍ය භාණ්ඩ , විදුලි, ගෑස්, තෙල් අද ඉතා හොඳ මට්ටමක පවතිනවා. නමුත් ඒවායේ යම් පවතින මිල ගණන් පිළිබඳව ජනතාවට දරාගන්න බැරි තත්වයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි ගරු ජනාධිපතිතුමා ඇතුලු රජයෙන් ඉල්ලීමක් කළා මේ 2024 වර්ෂයට එන අයවැයේදී ජනතා සහන ලබාදීමට කටයුතු කරන එක ඉතාම සුදුසුයි කියලා. ලොකු අභියෝගයක් තිබෙනවා. IMF එකත් සමඟ සාකච්ඡා පවත්වාගෙන එය සාර්ථක කරගන්න යන ගමනක්. ඒ වගේම ලෝක ආර්ථිකය අපිට දැඩි ලෙස බලපානවා. මේ ලෝකයේ ඇතිවී තිබෙන යුද්ධයන් සෘජුව නැති වුණත් වක්‍රාකාරව අපේ රටට බලපානවා. ඒ නිසා මේ හැම දෙයක්ම ඉතාමත්ම අවධානම් තත්වයක තිබෙන්නේ. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා පක්ෂයක් හැටියට මේ රටේ ජනතාවට සහන ලබාදෙන්න කියලා. මේ දිනවල ඉතාමත්ම කාලගුණික හා දේශගුණය අයහපත් වෙලා තිබෙනවා. සාමාන්‍ය ජනතාවට කුලී වැඩක් කිරීමට අපහසුතාවයක් තිබෙනවා. ඒ වගේ තත්වයක් තිබෙන අවස්ථාවක එකපැත්තකින් රජය අස්වැසුම වැඩසටහන තුළින් ජනතාවට සහන ලබාදීම ක්‍රියාත්මක කරලා තිබෙනවා. 2024 වෙනකොට අපේ රටට ආදායම් ලැබෙන , විශේෂයෙන් සංචාරක කර්මාන්තය , අපනයන ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය මේ කාරණා කෙරෙහි දැඩි අවධානයක් අපිට යොමු කරන්න වෙනවා. අපි සියලුදෙනා එකාවගේ වැඩකරලා මේ රට නැවතත් ශක්තිමත් ආර්ථික වශයෙන් ගොඩනගන්න එකට එකතු වියයුතුයි කියන එක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට අපේ විශ්වාසය බව අපි පැහැදිලිව මතක් කරනවා.”යනුවෙන් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදි සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *