27 April 2024
#දේශීය

එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් ජයග්‍රාහී වසරක් වනු නිසැකයි – අධ්‍යාපන ඇමැති

එළඹුණු අලුත් අවුරුද්දේ රටක් වශයෙන් මුහුණ දිය යුතු අභියෝග රාශියක් ඇති බවත්,එකමුතුව සහ සාමූහික වගකීමෙන් කටයුතු කළොත් එම අභියෝග පහසුවෙන් ජය ගැනීමේ ශක්තිය රජය සතුව පවත්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රන්ගිරි දඹුලු රජමහා විහාරය හා ශ්‍රී විශ්ණු මහ දේවාලයේ භාරකාර, මැද පන්සලේ අධිපති, සිරි වළගම්බා මහ පිරිවෙන් අධ්‍යක්ෂ, මාතලේ මහා දිශාවේ උප ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී ය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එකම දේශපාලන පක්ෂය තුළ පවා විවිධ අදහස් මත වාද, ඒ ඒ පක්ෂවලට සීමා වූ අනන්‍යතා ලක්ෂණ පැවතිය හැකි නමුත්, මත ගැටුම්, විරෝධතා වෙනුවට සන්ධානයක් වශයෙන් එක්ව ඉදිරියට යාමට සියලු සාමාජිකයන් ඇප කැප විය යුතු බවයි.

පක්ෂ කිහිපයක සන්ධානගත වීමෙන් ගොඩනැඟුණු පක්ෂයක් වුව ද, වරින්වර මතුවන ප්‍රශ්න කතා කර විසඳා ගැනීමට රජයක් වශයෙන් සමත් ව සිටින බවත්,විශේෂයෙන් ම විසිවන සංශෝධනය ගෙන ආ අවස්ථාවේ පවා සාමූහික එකඟතාවකට පැමිණ එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට රජය සමත් වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

පක්ෂයක් වශයෙන් සාමූහික ව ඉදිරියට යා හැකි නම් , දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් එළැඹෙන අභියෝග සියල්ලටම ජයග්‍රාහී ව මුහුණ දීමට රජයක් වශයෙන් අප ශක්තිමත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *