ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) මහත්මියට රුසියානු රූපවාහිනී නිවේදකයෙකු විසින් දැඩි ලෙස අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන්, රෝමයේ සිටින රුසියානු තානාපතිවරයා කැඳවා විරෝධය පළ කිරීමට ඉතාලි රජය පියවර ගෙන තිබේ. ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි (Antonio Tajani) මහතා අද (21) මේ බව ප්‍රකාශ කළේය.
රුසියානු රූපවාහිනී නිවේදක ව්ලැඩිමීර් සොලොවියොව් (Vladimir Solovyov) විසින් ඉතාලි අගමැතිනිය “මනුෂ්‍ය වර්ගයාටම නින්දාවක්”, “වන සතෙක්”, “සහතික ලත් මෝඩයෙක්” සහ “නපුරු කුඩා කාන්තාවක්” ලෙස හඳුන්වමින් අපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදු කර ඇත. එමෙන්ම ඇය සිය ඡන්දදායකයන් මෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පාවා දුන් “ෆැසිස්ට් සත්වයෙක්” බවට ද ඔහු චෝදනා කර තිබේ.
යුක්රේනයට ඉතාලිය ලබා දෙන දැඩි සහයෝගය හේතුවෙන් රෝමය සහ මොස්කව් අතර සබඳතා මේ වන විටත් පවතින්නේ දැඩි නොසන්සුන් මට්ටමකය. විදේශ අමාත්‍ය ටජානි මහතා සඳහන් කළේ, අදාළ නිවේදකයාගේ ප්‍රකාශ අතිශය බරපතල සහ අහිතකර බැවින් ඒ පිළිබඳව නිල වශයෙන් විරෝධය පළ කිරීමට රුසියානු තානාපති ඇලෙක්සි පාරමොනොව් (Alexey Paramonov) විදේශ අමාත්‍යංශය වෙත කැඳවූ බවයි.














